රජරට උරුමය

අතීත උරුමය සුරකිමු...

Sunday, August 26, 2018

තවමත් සොයා ගැනීමට නොහැකි වූ දෙවන ගජබා රජුගේ මණ්ඩලගිරි ගල් සන්නස

පොලොන්නරු රාජධානි සමයේ මහා පරාක්‍රමබාහු රජු හා දෙවන ගජබා රජතුමා අතර මැදිරිගිරියේ දී ඇති වූ ගිවිසුමක් පිළිබදව වංශ කතාවල සදහන් වේ..නමුත් එම ගිවිසුම පිළිබදව සදහන් ශිලා ලේඛන කිසිවක් මේ වන තෙක් මැදිරිගිරිය ප්‍රදේශය ආශ්‍රයෙන් සොයා ගැනීමට හැකිවී නොමැත...එහි පිටපතක් කුරුණෑගල සංගමුව විහාරයේ තිබී සොයාගෙන ඇත......

මහා පරාක්‍රමබාහු රජතුමාගේ රජ සමයට පෙර..මහා විජයබාහු රජතුමාගෙන් පසු අතර වූ කාල පරිච්ඡේදය   පොලොන්නරුව ඉතිහාසයේ රාජ්‍යත්වය උදෙසා බොහෝ කැලඹීම් ඇතිවූ කාල වකවානුවක් ලෙස හැදින්විය හැක...රුහුණේ බලය තහවුරු කරගත් මහා පරාක්‍රමබාහු රජුට මුලු දිවයිනේම පාලන බලය තමා සතු කරගැනීමට අවශ්‍ය විය..ඒ සදහා තම තම සොහොයුරෙකු වන දෙවන ගජබා (ක්‍රි.ව 1132 - 1153) රජු සමග සටන් වැදීමට ඔහුට සිදුවිය..ඉතා දරුණු සටන් මධ්‍යයේ පොලොන්නරුව අත්පත් කර ගැනීමේ ඉතා ආසන්න අවස්ථාවට පරාක්‍රමබාහු රජු පැමිණියද එම අවස්ථාවේ සිදුවන ජීවිත හා දේපල විනාශය දුටු මහා සංඝරත්නය ඊට මැදිහත් විය...රජුන් දෙදෙනා අතර සාකච්ඡා පවත්වා සමගිකොට දෙවන ගජබා රජුට හා මහා පරාක්‍රම බාහූ රජුට කොන්දේසි පැනවීය.එම කොන්දේසිය වූයේ මිය යන තුරුම දෙවන ගජබා රජුට පොලොන්නරු රාජධානියේ රජකම ලබාදිය යුතු බවත්..ඔහුගෙන් පසු අනිවාර්යයෙන්ම මහා පරාක්‍රමබාහු කුමරුට පොලොන්නරු රාජධානියේ රජකම ලබා දීමට ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතු බව‍ත් ය...මේ සම්බන්ධයෙන් තමාගෙන් පසු මහා පරාක්‍රමබාහු රජුට සිහසුන හිමිවන පරිදි දෙවන ගජබා රජු විසින් මණ්ඩලගිරි විහාරයේ ගල් සන්නසක් කළ බවට වංශකතා වල සදහන් වේ..නමුත් තවමත් එම ගල් සන්නස මැදිරිගිරිය පුරාවිද්‍යා කැණීම් තුළින් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර එම සන්නසේ පිටපතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සංගමුව රජමහා විහාරයේ තිබී සොයාගෙන ඇත.

Friday, June 22, 2018

අතීත බොදු උරුමය - 01 (මැදිරිගිරිය - පල්ලියගොඩැල්ල - 01 )

ශ්‍රී ලංකාවේ ඉපැරණි බෞද්ධ ශිෂ්ඨාචාරයේ නටඹුන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාම පැතිර පවතින බව කාටත් නොරහසකි.බුදුන් වහන්සේ තෙවරක් වැඩම කොට පාරිශුද්ධත්වයට පත් කළ ලක්දිව අනුබුදු මිහිදු මාහිමියන්ගේ පාදස්පර්ශයෙන් අසුව පිරිසිදු ථේරවාදී බෞද්ධ ධර්මයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය.එකල ලක්දිව රාජ්‍ය පාලනය කළ රජදරුවන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදිවිය.ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් මහා සංඝරත්නය එම විහාරස්ථාන වල වැඩ වාසය කරන්නට විය.විවිධ කාලානුරූපීප ලක්දිව රාජ්‍ය පාලනයට එල්ල වූ විවිධ බලපෑම් හේතුකොට ගෙන ලක්දිව උතුරු පෙදෙසට වන්නට තිබූ රාජධානි කෙමෙන් නිරිත දෙසට සංක්‍රමණය වන්නට විය..මේ සදහා විදේශීය රාජ්‍ය වලින් එල්ලවූ බලපෑම මෙන්ම විවිධ කාලවලදී ඇති වූ දේශගුණික හා කාලගුණික විපර්යාසයන්ද හේතු වූවා විය හැකිය.

කෙසේ නමුත් මෙම රාජධානි නිරිත දෙසට සංක්‍රමණය වීමත් සමගම ලක්දිව උතුරු ප්‍රදේශයට වන්නට තිබූ සශ්‍රීක ගම් දනව් අතහැර එකී ජනයාද තම ජනාවාස අතහැර  නිරිත දෙසට සංක්‍රමණය වන්නට විය.අනුරාධපුරයේ සිට පොලොන්නරුව දක්වා සංක්‍රමණය වූ රාජ්‍ය එතැන්සිට පැමිණි කාලිංග මාඝගේ දරුණු පාලනය හේතුවෙන් දඹදෙණිය දක්වා සංක්‍රමණය වන්නට විය.නිශ්ශංක මල්ල රජුගෙන් පසු කෙටිකාලීනව බල ලෝභීත්වය නිසා එකිනෙකා මරා දමමින් සිදුවූ රාජ්‍ය පාලන හේතුවෙන් 12 වන සියවසේ මුල් භාගය තුළ ලක්දිව රාජ්‍ය පාලනය ඉතා අරාජික තත්වයට පත් විය.ඉන් උපරිම වාසිය සලසා ගත් කාලිංග මාඝ නම් දරුණු ඉන්දීය ආක්‍රමණිකයා පොලොන්නරු රාජධානිය ආක්‍රමණය කලේය.වෙහෙර විහාරස්ථාන විනාශ කරමින් වස්තුව කොල්ල කමින්, කෙත්වතු විනාශ කරමින් මහත් සංහාරයක් සිදුකල කාලිංග මාඝ ලක්දිව ආක්‍රමණය කළ කෲරතරම ආක්‍රමණිකයා බවට පත් විය.ඒ සමගම ලක්දිව උතුරු මැද ප්‍රදේශයට වන්නට තිබූ ගම් දනව් අත් හැර ජනයාද තම ආරක්ෂාව පතා නිරිත දෙසට සංක්‍රමණය විය.

මෙසේ රාජධානි නිරිත දෙසට සංක්‍රමණය වීමත් සමග අනුරාධපුර හා පොලොන්නරුව ආශ්‍රිතව තිබූ වෙහෙර විහාරස්ථාන මෙන්ම වැව් කෙත් වතු ආදිය වල්බිහිවී ජන ශූන්‍ය කලාප බවට පත් විය.අනුරාධපුර හා පොලොන්නරුව ආශ්‍රිතව පැවති බොදු උරුමයන් කාලයාගේ වැලි තලාවෙන් යටවී අතීත උරුමයන් බවට කෙමෙන් පත් වන්නට විය.

අප මහා ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී දක්ෂිණ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෝමාවතී චෛත්‍ය හා ඒ අවට ප්‍රදේශය ද අතීතයේ ඉතාමත් සශ්‍රීක පෙදෙසක් බවට අතීතයේ පත්ව තිබී ඇත.පොලොන්නරු රාජධානිය ආශ්‍රය කරගනිමින් එකල මැදිරිගිරිය හා ඒ ආශ්‍රිත  ප්‍රදේශය උතුරින් මහවැලි ගග දක්වාත්..ඉන් එපිට ප්‍රදේශයේත් ඉතා හොදින් ජනාවාසව පැවත පැවති බවට අපට සාක්ෂි හමුවේ.මැදිරිගිරිය ප්‍රදේශයේ සිට තළාකොලවැව හා සුංගාවිල ප්‍රදේශය හරහා අතීතයේ සෝමාවතිය දක්වා ගමන් කල මාර්ගයක් පැවති බවට ජනප්‍රවාදයේ පවතී.අද වන විට මුස්ලිම් ජනයා ජීවත් වන පල්ලියගොඩැල්ල හා පඹුරාන ප්‍රදේශය ආශ්‍රිතව ද එදා බෞද්ධ වෙහෙර විහාරස්ථාන තිබූ බවට දැනුදු ගරාවැටුණු චෛත්‍ය හා ගොඩැනැගිලි නටඹුන් සාක්ෂි දරයි.පල්ලියගොඩැල්ල ගම්මානයේ සිට කීලෝමිටර් 06 -07 පමණ දුරකින් ගලා බසිනා මහවැළි ගග ආශ්‍රිතව ද ඉන් එපිට ප්‍රදේශයේ ද සංරක්ෂණ නොකළ පුරාවිද්‍යා ස්මාරක රැසක් දැකගත හැකිය.මින් බොහොමයක් නිධන් සොරුගේ ග්‍රහණයට නතුව විනාශයට පත්ව තිබේ.මහවැලි ගංගාවේ කාලානුරූපීප ගමන් මග වෙනස් වීම හේතුකොට ගෙන මහවැලි ගං ඉවුර ආශ්‍රිතව තිබූ බොහොමයක් පුරාවස්තු විනාශයට පත්ව තිබේ.ඇතැම් ස්ථාන වල විශාල ගොඩනැගිලි වල සේදිගිය සුවිශාල ගඩොල් පාදම් දැකිය හැකිය.එක් ස්ථානයක ගල් කණු තිහකින් පමණ සමන්විත ඉපැරැණි ගෘහයක නටඹුන් දැකිය හැකිය.නිශ්චිතවම කිව නොහැකි උවත් මෙය පිළිමගෙයක නටඹුන් බවට සිතිය හැකිය.ඇතැම් තැනක ගං වතුර හේතුවෙන් සේදීගිය ගඩොල් බැමි වල නටඹුන් දැකිය හැකිය..විනාශ වී ගිය ශිලාලිපි හා ඒ ආශ්‍රිතව ඇති නටඹුන් විශාල ප්‍රමාණයක් වනාන්තරය තුළ දැකිය හැක..බොහොමයක් පුරාවිද්‍යා ස්මාරක නිදන් හොරුන්ගේ ක්‍රියාකාරකම් හේතු කොටගෙන හදුනා ගත නොහැකි ලෙසම විනාශයට පත්ව තිබේ.මෙම ශිලාලේඛන සංරක්ෂණ කර අනාගත පරපුර උදෙසා දායාද කිරීමට අදාල බලධාරීන්ගේ අවදානය ඉතා ඉක්මනින් යොමුවිය යුතුය.(02 කොටසින් හමුවෙමු.)

Wednesday, November 15, 2017

ලක්දිව ඉපැරණි වාණිජ්‍යය කේන්ද්‍රස්ථානය - මැදිරිගිරිය

අනුරාධපුර යුගයේ මුල් අවධිය දක්වා දිවයන ඉතා දිගු අතීතයකට හිමිකම් පාන ඓතිහාසික මැදිරිගිරිය පුරවරය හා ඒ අවට ප්‍රදේශය අතීතයේ ඉතාමත් දියුණු කෘෂිකාර්මික හා වාණිජ්‍යය  කේන්ද්‍රස්ථානයක්  ලෙස පැවති බවට ඉතිහාසය දෙස නැවත හැරී බලන විට අපට දැකගත හැකිය..

වර්තමානය දක්වා ශේෂව පවතින ප්‍රධානතම  අතීත උරුමයන් ලෙස මැදිරිගිරිය වටදාගය හා කවුඩුලු වැව හැදින්විය හැකි අතර ඊට අමතරව ප්‍රදේශය පුරා පන්සල් හා විවිධ ස්ථාන ආශ්‍රිතව ඉතා විශාල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන රැසක් දැකගත හැකිය.දියසෙන්පුර ,කහඹිලියාව,තළාකොලවැව ආදී ඉපැරණි විහාරස්ථාන රැසක් ඊට නිදසුන් ලෙස දැක්විය හැක.

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති දර්ශනීයතම වටදාගය වන මැදිරිගිරිය වටදාගය ආශ්‍රිතව සිදුකල පුරාවිද්‍යා කැණීම් වලදී අනුරාධපුර මුල් යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂර සහිත උළු කැට කිහිපයක් හමුවී ඇත.අනුරාධපුර යුගයේ සිට පොලොන්නරු යුගය දක්වා විවිධ අවස්ථාවන් වලදී ඉතා වැදගත්වූ ස්ථානයක් ලෙස මැදිරිගිරිය හැදින්විය හැකිය..මැදිරිගිරිය වටදාගයට යාබදව පිහිටා ඇති ආරෝග්‍ය ශාලවද ඉතා වැදගත් පුරාවිද්‍යා ස්මාරකයකි.

මැදිරිගිරිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ භූමියේ අඩි කිහිපයක් ගැඹුරින් පොළව කැණීම් කළ විට ඉපැරණි වළං කටු හා මැටි භාජනවල නශ්ඨාවශේෂ දැනුදු දැකිය හැකිය.මැදිරිගිරිය ප්‍රදේශය පුරා අතීතයේ ඉතා දියුණු පැතිරීගිය ජානවාස පද්ධතියක් බිහිව තිබූ බවට එය කදිම නිදසුනකි.එසේම මැදිරිගිරිය වටදාගයට යාබද භූමියෙන් ඉපැරණි වීදුරු නිශ්පාදනාගාරයක නටඹුන් හමුව තිබේ..

මැදිරිගිරිය වටදාගයට යාබද ප්‍රදේශයක් වන ඇටඹඔය බිසෝපුර ප්‍රදේශයේ සිදු කරන ලද කැණීම් තුළින් ඉපැරණි යබොර කුට්ටි හමුව තිබේ..අතීතයේ මේ ප්‍රදේශයේ යකඩ නිශ්පාදනාගාරයක් තිබූ බවට මෙම සාධක තුලින් වටහා ගත හැකිය.එබැවින් මැදිරිගිරිය ප්‍රදේශය අතීතයේ  වානිජ්‍යමය වටිනා කමක් තිබූ මැටි භාණ්ඩ,වීදුරු භාන්ඩ හා විවිධ යකඩ උපකරණ නිශ්පාදනය කළ ඉතා සුවිශේෂී ආර්ථික වැදගත් කමක් සහිත ප්‍රදේශයක් බව සිතිය හැක..

මහා පරාක්‍රමබාහු රජතුමා විසින් නිර්මාණය කරන ලද ,පොලොන්නරුවේ සිට මහවැළි ගග ඔස්සේ ත්‍රිකුණාමලය දක්වා ගමන් කළ හැකි කාලිංග ඇළ ලෙසින් හදුන්වන ජල මාර්ගය ඔස්සේ මෙම නිශ්පාදන  ඔරු පාරු මගින්  ගෝකන්ණ වරායට රැගෙන ගොස් ලොව පුරා බෙදා හැරීම සිදු කිරීමට ඇත.

මහා පරාක්‍රමබාහු රජතුමාගේ සුවිශේෂී නිර්මාණයක් වන කාලිංග ඇළ විශේෂයෙන් සහල් අපනයනය කිරීම සදහා යොදාගත් ප්‍රවාහන මාර්ගයකි..මෙම ඇළ මාර්ගය ආසන්නයෙන් වැටී ඇති වර්තමානයේ කහඹිලියාව යන නමින් හදුන්වන ප්‍රදේශය එකල ඉතා දියුණු වෙළද භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කර ඇත..වර්තමාන කහඹිලියාව විහාරස්ථානයෙන් විවිද වර්ණයන්ගෙන්‍ යුත් පබලු වර්ග,වීදුරු වළලු ,කාසි හා වෙනත් විවිද වර්ගයේ මැටි භාණ්ඩ රැසක් හමුවී ඇති අතර එම පුරාවස්තු පොලොන්නරුව කෞතුකාගාරයේ දැනට තැන්පත් කර තිබේ..මැදිරිගිරිය ප්‍රදේශය අතීතයේ ඉතා දියුණු වාණිජ්‍යය මධ්‍යස්ථානයක් ලෙස  පැවති බවට මෙය ඉතා වටිනා සාධකයකි.

මීට අමතරව කහඹිලියාව විහාරස්ථානයේ දක්නට ඇති සුවිශේෂී ටැම් ලිපිය දැනට නිසි පරිදි සංරක්ෂණය නොකිරීම හේතුවෙන් විනාශයට පත් වෙමින් පවතී.

ඉපැරණි පුරාවස්තු රැසක් දක්නට ලැබෙන තලාකොළවැව පුරාන විහාරස්ථානය හා පල්ලියගොඩැල්ල ප්‍රදේශයද අතීතයේ ඉතා සරුසාර ප්‍රදේශයක් ලෙස පැවති බවට සාධක හමුවේ..

අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණු දන්ත ධාතූන් වහන්සේ සෝමාවතිය ප්‍රදේශයට ගෙන යාමට පෙර ටික කළක් තැන්පත් කර තැබූ බවට ජනවහරේ පැවත එන තළාකොලවැව විහාරස්ථානයේ ද පුරාවිද්‍යා ස්මාරක රැසක් දක්නට ලැබේ. වර්තමානයේ තළාකොලවැව විහාරස්ථානයේ පුරාවිද්‍යා ස්මාරකවල සංරක්ෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී මෙම ඉපැරණි විහාරස්ථානය පිළිබදව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇත.

මීට අමතරව තළාකොලවැව විහාරස්ථානයට ආසන්නයේ ඇති පල්ලිය ගොඩැල්ල ප්‍රදේශයේද ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක රැසක නටඹුන් දැකිය හැකිය.

එමෙන්ම කවුඩුලු වැවට අමතරව මැදිරිගිරිය ප්‍රදේශය පුරා අතීතයේ ඉතා කුඩා වැව් රැසක්ම පැවති බවට සාධක හමුව තිබේ..එම කුඩා වැව් එකිනෙකට සම්බන්ධව වැව් පද්ධතියක් ලෙස පැවති බවට හදුනා ගත හැකි අතර එවැනි වැව් පද්ධති ඇටඹඔය ප්‍රදේශයේ හා තළාකොලවැව ප්‍රදේශයේ විහිදී තිබූ ආකාරය දැනුදු පැහැදිලිව දැකගත හැකිය..එමගින් මැදිරිගිරිය ප්‍රදේශයේ ඉතා සශ්‍රීක ලෙස කෘෂිකාර්මික කටයුතු සිදුකර ඇති බවට හදුනා ගත හැකිය.

එවැනි බොහෝ වැව් ආසනනයේ දැනටත් ඉපැරණි ශිලා ලේඛන දැකිය හැකි අතර සංරක්ෂණය නොකිරීම  හේතුවෙන් ඒවා විනාශ වෙමින් පවතී..ඇතැම් ශිලා ලේඛන නිදන් හොරුන් විසින් විනාශ කොට ඇති ආකාරය දැකගත හැකිය.

මේ ආකාරයට රාජධානි නිරිත දිගට සංක්‍රමණය වන තෙක්ම මැදිරිගිරිය ප්‍රදේශය  වානිජ්‍යයමය හා කෘෂිකාර්මික අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් ලෙස පැවති බවට සිතිය හැකිය.

Friday, August 18, 2017

රාජකීය පොකුණ නොහොත් කුමාර පොකුණ

පොලොන්නරුව ඇතුළු නුවර නැගෙනහිර සීමා ප්‍රාකාරය ටත් පැරණි ඇල මාර්ගයටත් අතර ඇති තැනිතලා භූමි භාගයේ චූලවංශය සඳහන් වන "ශිලා පොක්ඛරණි" හෙවත් කුමාර පොකුණ පිහිටා ඇත. ඇතුලු  නුවර මට්ටමෙන් පහළ භූමියේ පිහිටි මෙම පොකුණට ගමන් කිරීම සඳහා පියගැට පෙළක් ද පිහිටා තිබේ.පොකුණ  පිහිටි භූමිය සමහර විට මහා පරාක්‍රමබාහු රජුගේ රාජකීය උද්‍යානය වූ නන්දන උයනේ ම කොටසක් විය හැක.

වංශකතාවල සඳහන් වන ආකාරයට මෙම උයන විවිධ වූ ගස්වැල් වර්ග වලින් සමන්විතව නිර්මාණය කර තිබී ඇත. මුළුමනින්ම ගලින් ඉදි කරන ලද කුමාර පොකුණ දිග අඩි 44 ක් හා පළල අඩි 38 වන  පහල සිට ඉහලට යනවිට කුඩා වන වේදිකා තුනකින් යුක්ත වේ. පහල මාලකයේ දිග අඩි 31.6 ක් හා පළල අඩි 27.3 කි. මාලිගයේ දිය අගලින් පොකුණට ජලය ලැබී ඇත. දෙපැත්තේ සවිකර ඇති මකර කට සහිත සෙල් නළ වලින් වෑස්සෙන ජලය ග්‍රීස්ම කාලවල දී පවා උයන සිසිල්ව තබා ගැනීමට සමත්වී ඇත. රජු ස්නානය කළ මෙහි ජලය සුවඳ කවා තිබූ බව සිතිය හැකි ය. පොලොන්නරුවේ පිහිටා ඇති පොකුණු අතරින් කුමාර පොකුණට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. නන්දන උයනේ වලාකුළුවලින් මෙන් ජලය වෑස්සෙන  ආකාරයට  මෙය තිබූ බවද සදහන් වේ. එහෙත් ඒවා මේ වන විට විනාශ වී ගොස් ඇත .

පොකුණ අසලම තිබෙන අලංකාර කුඩා ශෛලමය ගොඩනැගිල්ල රජු ඇතුළු රාජකීයයන් ස්නානය කිරීමේ දී ඇඳුම වස්ත්‍රාභරණ මාරු කිරීම සදහා භාවිතා කළ " සළු මණ්ඩපය "ලෙස සලකනු ලැබේ. එහි ප්‍රමාණය හා නිර්මාණ ලක්ෂණ හා පිහිටීම අනුව ද එය සළු මණ්ඩපය බව පැහැදිලි ය. පොකුණත් ඇළ මාර්ගයත් අතර වැසිකිළියක් ඉදි කර ඇත. එය ස්නානය  සඳහා පැමිණි රාජකීයන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන් කර තිබී ඇත.

Tuesday, July 11, 2017

නෙළුම් පොකුණ

පොලොන්නරුව පුරාවිද්‍යා ස්මාරක අතර ඉතා සුවිශේෂී නිර්මාණයක් ලෙස නෙළුම් පොකුණ හැදින්විය හැකිය.එකෙනකට වෙනස් වන ඉහළ සිට පහළට කුඩා වන ආකාරයෙන් නෙළුම් මලක පෙති ලෙස හැඩති වේදීකා 08න් මෙම පොකුණ සමන්විත වේ.ඉතා හොදින් ඔපමට්ටම් කරන ලද ගල් පුවරු එකිනෙකට ඉතා සියුම් ලෙස සම්බන්ධ කර මෙම පොකුණ නිර්මාණය කර ඇත.පොකුණ වටා ඊට සම්බන්ධ වන ලෙස ගඩොලින් වේදිකාවක් නිර්මාණය කර තිබේ.මෙවැනි පොකුණු අටක් ජේතවනාරාම විහාර සංකීර්ණයේ ඉදි කළ බව සදහන් වේ.

Monday, July 10, 2017

පුල්ලිගොඩ

දිඹුලාගල විහාරයේ සිට සැතපුම් 04 ක් පමණ දුරින් පිහිටි පුල්ලිගොඩ අතීත ලාංකීය සිතුවම් කලාව පිළිබද විදහා පාන තවත් ඓතිහාසික ස්ථානයකි.මෙහි ඇති ගල්ලෙන් ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජානාවාස ලෙසපැවතී ඇති අතර පසුව වැදි ජනයා විසින් භාවිතා කර ඇත.පොලොන්නරුව යුගය වන විට මෙම ලෙන් භික්ෂූන් වහන්සේලාගේ නේවාසික ස්ථාන ලෙස භාවිතා කර තිබේ..මෙම ගල්ලෙන් සුවිශේෂී වන්නේ මෙහි ඇති ඉපැරණි සිතුවම් නිසාය.

1877 වසරේදී පමණ එච්.සී.පී.බෙල් මහතාගේ අවදානයට ලක් වු මෙම ඓතිහාසික ලෙන් 1944 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් විය.ඒ වන විට එහි තිබූ බොහොමයක් සිතුවම් අව් වැසි වලින් විනාශයට පත්ව ගොස් තිබිණි.ක්‍රි.ව 09 - 10 වන සියවස් වලට අයත් යැයි සැලකෙන මෙම සිතුවම් පිළිබද පරණවිතාන මහතාගේ අදහස වන්නේ මෙම සිතුවම් පොලොන්නරු යුගයේදී සිතුවම් කර ඇති බවයි.මෙම සිතුවම් වල සම්ප්‍රදාය ,කලා ශෛලිය හා සිතුවම් ස්වරූපය අනූව මෙම සිතුවම් පොලොන්නරු යුගයට අයත් යැයි සිතිය හැක..

සීමීත වර්ණ රටා ප්‍රමාණයක් යොදාගෙන නිර්මාණය කර ඇති මෙම සිතුවම් අතර දැනට පැහැදිලිව දැකිය හැකි සිතුවම වන්නේ ඇතිරිල්ලක් මත හිදගෙන සිටින දේවරූප පහකි.එම දේවරූප වල හිස් වටා රැස් වළලු දැකිය හැකි අතර අතින් මල් දරා සිටී.අලංකාර ආභරණ වලින් සැරසී සිටින අතර උඩුකය පමණක් නිරූපණය කර ඇත.පරණවිතාන මහතාගේ අදහස වන්නේ මෙම සිතුවම බුදුන් වැදීමට පැමිණි දෙවිවරුන් පිරිසක් නිරූපණය වන සුවිශාල සිතුවමක කොටසක් බවයි.තවත් කුඩා සිතුවම් කිහිපයක් මෙහිදී දැකිය හැකිවේ.

Sunday, April 17, 2016

ගල්පොත සෙල්ලිපිය......

දැනට ශ්‍රී ලංකාවේ සොයාගෙන ඇති විශාලතම සෙල්ලිපිය ලෙස ගල්පොත සෙල්ලිපිය හැදින්විය හැකිය.නිශ්ශංක මල්ල රජතුමා විසින් පොතක් මෙන් විශාල ගලකින් සකස් කර ඇති ගල්පොත සෙල්ලිපිය පොලොන්නරුව පුරාවිද්‍යා ස්මාරක අතර ඇති වැදගත් ස්මාරකයකි.චතුරශ්‍රාකාර හැඩයෙන් යුත් ගල්පොත සෙල්ලිපිය මීටර් 8ක් දිගින් හා මීටර් 4.3 ක් පළලින් (26'.10"×14'.7") යුක්ත වන අතර මෙය මිහින්තලේ සිට ගෙන ආ බවට එහි එක් පැත්තක සදහන්ව ඇති "ශ්‍රී කාලිංග චක්‍රවර්තී ස්වාමීන් වහන්සේ ඇති කළ නිශ්ශංක භටයන් ලවා අධිකාර කොට දනව් වන්දනාවන් සෑගිරියෙන් ගෙන් වූ ශිලා ගලයි" යන වාක්‍යයෙන් පැහැදිලි වෙයි.එහිම පටු ස්ථානයේ වීරාසනයෙන් වාඩිවී සිටින ලක්ෂ්මී දේවියගේ හිසට ඇය දෙපසින් ඇතුන් දෙදෙනෙක් හොඩයෙන් ගත් පැන් කලවලින් අභිෂේක කරන ආකාරය දැක්වෙන ඉතා කළාත්මක ගජලකෂ්මී කැටයම අගනා නිර්මාණකි.ඉතා උසස් ආකාරයෙන් නිශ්ශංක මල්ල රජු හා රාජ වංශය මෙම සෙල්ලිපියේ වර්ණනා කර ඇත.තවද ඉන්දියාව වැනි රටවල් ආක්‍රමණය කළ ආකාරය හා ඉන්දුනීසියාව ආදී රටවල් සමග ඇති කරගත් මිත්‍ර සම්බන්දතාවයන් පිළිබඳවද රට ජාතිය හා බුද්ධ ශාසනය වෙනුවෙන් කළ කාර්යන්ද..නව ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු..රජුගේ දානමාන කටයුතු රාජධානිය ස්ථාපිත කිරීම පිළිබඳ තොරතුරු මෙම ලිපියේ දීර්ඝ වශයෙන් විස්තර කර ඇත..සමකාලීන පාලි සස්කෘත වචන බහුල වශයෙන් ඇතුළත් කර මිශ්‍ර භාෂාවෙන් මෙය රචනා කර ඇත....

තවමත් සොයා ගැනීමට නොහැකි වූ දෙවන ගජබා රජුගේ මණ්ඩලගිරි ගල් සන්නස

පොලොන්නරු රාජධානි සමයේ මහා පරාක්‍රමබාහු රජු හා දෙවන ගජබා රජතුමා අතර මැදිරිගිරියේ දී ඇති වූ ගිවිසුමක් පිළිබදව වංශ කතාවල සදහන් වේ..නමුත් එම ග...