ශ්‍රී ලංකාවේ ඉපැරණි බෞද්ධ ශිෂ්ඨාචාරයේ නටඹුන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාම පැතිර පවතින බව කාටත් නොරහසකි.බුදුන් වහන්සේ තෙවරක් වැඩම කොට පාරිශුද්ධත්වයට පත් කළ ලක්දිව අනුබුදු මිහිදු මාහිමියන්ගේ පාදස්පර්ශයෙන් අසුව පිරිසිදු ථේරවාදී බෞද්ධ ධර්මයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය.එකල ලක්දිව රාජ්‍ය පාලනය කළ රජදරුවන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදිවිය.ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් මහා සංඝරත්නය එම විහාරස්ථාන වල වැඩ වාසය කරන්නට විය.විවිධ කාලානුරූපීප ලක්දිව රාජ්‍ය පාලනයට එල්ල වූ විවිධ බලපෑම් හේතුකොට ගෙන ලක්දිව උතුරු පෙදෙසට වන්නට තිබූ රාජධානි කෙමෙන් නිරිත දෙසට සංක්‍රමණය වන්නට විය..මේ සදහා විදේශීය රාජ්‍ය වලින් එල්ලවූ බලපෑම මෙන්ම විවිධ කාලවලදී ඇති වූ දේශගුණික හා කාලගුණික විපර්යාසයන්ද හේතු වූවා විය හැකිය.
කෙසේ නමුත් මෙම රාජධානි නිරිත දෙසට සංක්‍රමණය වීමත් සමගම ලක්දිව උතුරු ප්‍රදේශයට වන්නට තිබූ සශ්‍රීක ගම් දනව් අතහැර එකී ජනයාද තම ජනාවාස අතහැර නිරිත දෙසට සංක්‍රමණය වන්නට විය.අනුරාධපුරයේ සිට පොලොන්නරුව දක්වා සංක්‍රමණය වූ රාජ්‍ය එතැන්සිට පැමිණි කාලිංග මාඝගේ දරුණු පාලනය හේතුවෙන් දඹදෙණිය දක්වා සංක්‍රමණය වන්නට විය.නිශ්ශංක මල්ල රජුගෙන් පසු කෙටිකාලීනව බල ලෝභීත්වය නිසා එකිනෙකා මරා දමමින් සිදුවූ රාජ්‍ය පාලන හේතුවෙන් 12 වන සියවසේ මුල් භාගය තුළ ලක්දිව රාජ්‍ය පාලනය ඉතා අරාජික තත්වයට පත් විය.ඉන් උපරිම වාසිය සලසා ගත් කාලිංග මාඝ නම් දරුණු ඉන්දීය ආක්‍රමණිකයා පොලොන්නරු රාජධානිය ආක්‍රමණය කලේය.වෙහෙර විහාරස්ථාන විනාශ කරමින් වස්තුව කොල්ල කමින්, කෙත්වතු විනාශ කරමින් මහත් සංහාරයක් සිදුකල කාලිංග මාඝ ලක්දිව ආක්‍රමණය කළ කෲරතරම ආක්‍රමණිකයා බවට පත් විය.ඒ සමගම ලක්දිව උතුරු මැද ප්‍රදේශයට වන්නට තිබූ ගම් දනව් අත් හැර ජනයාද තම ආරක්ෂාව පතා නිරිත දෙසට සංක්‍රමණය විය.
මෙසේ රාජධානි නිරිත දෙසට සංක්‍රමණය වීමත් සමග අනුරාධපුර හා පොලොන්නරුව ආශ්‍රිතව තිබූ වෙහෙර විහාරස්ථාන මෙන්ම වැව් කෙත් වතු ආදිය වල්බිහිවී ජන ශූන්‍ය කලාප බවට පත් විය.අනුරාධපුර හා පොලොන්නරුව ආශ්‍රිතව පැවති බොදු උරුමයන් කාලයාගේ වැලි තලාවෙන් යටවී අතීත උරුමයන් බවට කෙමෙන් පත් වන්නට විය.
අප මහා ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී දක්ෂිණ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෝමාවතී චෛත්‍ය හා ඒ අවට ප්‍රදේශය ද අතීතයේ ඉතාමත් සශ්‍රීක පෙදෙසක් බවට අතීතයේ පත්ව තිබී ඇත.පොලොන්නරු රාජධානිය ආශ්‍රය කරගනිමින් එකල මැදිරිගිරිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය උතුරින් මහවැලි ගග දක්වාත්..ඉන් එපිට ප්‍රදේශයේත් ඉතා හොදින් ජනාවාසව පැවත පැවති බවට අපට සාක්ෂි හමුවේ.මැදිරිගිරිය ප්‍රදේශයේ සිට තළාකොලවැව හා සුංගාවිල ප්‍රදේශය හරහා අතීතයේ සෝමාවතිය දක්වා ගමන් කල මාර්ගයක් පැවති බවට ජනප්‍රවාදයේ පවතී.අද වන විට මුස්ලිම් ජනයා ජීවත් වන පල්ලියගොඩැල්ල හා පඹුරාන ප්‍රදේශය ආශ්‍රිතව ද එදා බෞද්ධ වෙහෙර විහාරස්ථාන තිබූ බවට දැනුදු ගරාවැටුණු චෛත්‍ය හා ගොඩැනැගිලි නටඹුන් සාක්ෂි දරයි.පල්ලියගොඩැල්ල ගම්මානයේ සිට කීලෝමිටර් 06 -07 පමණ දුරකින් ගලා බසිනා මහවැළි ගග ආශ්‍රිතව ද ඉන් එපිට ප්‍රදේශයේ ද සංරක්ෂණ නොකළ පුරාවිද්‍යා ස්මාරක රැසක් දැකගත හැකිය.මින් බොහොමයක් නිධන් සොරුගේ ග්‍රහණයට නතුව විනාශයට පත්ව තිබේ.මහවැලි ගංගාවේ කාලානුරූපීප ගමන් මග වෙනස් වීම හේතුකොට ගෙන මහවැලි ගං ඉවුර ආශ්‍රිතව තිබූ බොහොමයක් පුරාවස්තු විනාශයට පත්ව තිබේ.ඇතැම් ස්ථාන වල විශාල ගොඩනැගිලි වල සේදිගිය සුවිශාල ගඩොල් පාදම් දැකිය හැකිය.එක් ස්ථානයක ගල් කණු තිහකින් පමණ සමන්විත ඉපැරැණි ගෘහයක නටඹුන් දැකිය හැකිය.නිශ්චිතවම කිව නොහැකි උවත් මෙය පිළිමගෙයක නටඹුන් බවට සිතිය හැකිය.ඇතැම් තැනක ගං වතුර හේතුවෙන් සේදීගිය ගඩොල් බැමි වල නටඹුන් දැකිය හැකිය..විනාශ වී ගිය ශිලාලිපි හා ඒ ආශ්‍රිතව ඇති නටඹුන් විශාල ප්‍රමාණයක් වනාන්තරය තුළ දැකිය හැක..බොහොමයක් පුරාවිද්‍යා ස්මාරක නිදන් හොරුන්ගේ ක්‍රියාකාරකම් හේතු කොටගෙන හදුනා ගත නොහැකි ලෙසම විනාශයට පත්ව තිබේ.මෙම ශිලාලේඛන සංරක්ෂණ කර අනාගත පරපුර උදෙසා දායාද කිරීමට අදාල බලධාරීන්ගේ අවදානය ඉතා ඉක්මනින් යොමුවිය යුතුය.(02 කොටසින් හමුවෙමු.)
No comments:
Post a Comment