අනුරාධපුර යුගයේ මුල් අවධිය දක්වා දිවයන ඉතා දිගු අතීතයකට හිමිකම් පාන ඓතිහාසික මැදිරිගිරිය පුරවරය හා ඒ අවට ප්‍රදේශය අතීතයේ ඉතාමත් දියුණු කෘෂිකාර්මික හා වාණිජ්‍යය කේන්ද්‍රස්ථානයක් ලෙස පැවති බවට ඉතිහාසය දෙස නැවත හැරී බලන විට අපට දැකගත හැකිය..
වර්තමානය දක්වා ශේෂව පවතින ප්‍රධානතම අතීත උරුමයන් ලෙස මැදිරිගිරිය වටදාගය හා කවුඩුලු වැව හැදින්විය හැකි අතර ඊට අමතරව ප්‍රදේශය පුරා පන්සල් හා විවිධ ස්ථාන ආශ්‍රිතව ඉතා විශාල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන රැසක් දැකගත හැකිය.දියසෙන්පුර ,කහඹිලියාව,තළාකොලවැව ආදී ඉපැරණි විහාරස්ථාන රැසක් ඊට නිදසුන් ලෙස දැක්විය හැක.
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති දර්ශනීයතම වටදාගය වන මැදිරිගිරිය වටදාගය ආශ්‍රිතව සිදුකල පුරාවිද්‍යා කැණීම් වලදී අනුරාධපුර මුල් යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂර සහිත උළු කැට කිහිපයක් හමුවී ඇත.අනුරාධපුර යුගයේ සිට පොලොන්නරු යුගය දක්වා විවිධ අවස්ථාවන් වලදී ඉතා වැදගත්වූ ස්ථානයක් ලෙස මැදිරිගිරිය හැදින්විය හැකිය..මැදිරිගිරිය වටදාගයට යාබදව පිහිටා ඇති ආරෝග්‍ය ශාලවද ඉතා වැදගත් පුරාවිද්‍යා ස්මාරකයකි.
මැදිරිගිරිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ භූමියේ අඩි කිහිපයක් ගැඹුරින් පොළව කැණීම් කළ විට ඉපැරණි වළං කටු හා මැටි භාජනවල නශ්ඨාවශේෂ දැනුදු දැකිය හැකිය.මැදිරිගිරිය ප්‍රදේශය පුරා අතීතයේ ඉතා දියුණු පැතිරීගිය ජානවාස පද්ධතියක් බිහිව තිබූ බවට එය කදිම නිදසුනකි.එසේම මැදිරිගිරිය වටදාගයට යාබද භූමියෙන් ඉපැරණි වීදුරු නිශ්පාදනාගාරයක නටඹුන් හමුව තිබේ..
මැදිරිගිරිය වටදාගයට යාබද ප්‍රදේශයක් වන ඇටඹඔය බිසෝපුර ප්‍රදේශයේ සිදු කරන ලද කැණීම් තුළින් ඉපැරණි යබොර කුට්ටි හමුව තිබේ..අතීතයේ මේ ප්‍රදේශයේ යකඩ නිශ්පාදනාගාරයක් තිබූ බවට මෙම සාධක තුලින් වටහා ගත හැකිය.එබැවින් මැදිරිගිරිය ප්‍රදේශය අතීතයේ වානිජ්‍යමය වටිනා කමක් තිබූ මැටි භාණ්ඩ,වීදුරු භාන්ඩ හා විවිධ යකඩ උපකරණ නිශ්පාදනය කළ ඉතා සුවිශේෂී ආර්ථික වැදගත් කමක් සහිත ප්‍රදේශයක් බව සිතිය හැක..
මහා පරාක්‍රමබාහු රජතුමා විසින් නිර්මාණය කරන ලද ,පොලොන්නරුවේ සිට මහවැළි ගග ඔස්සේ ත්‍රිකුණාමලය දක්වා ගමන් කළ හැකි කාලිංග ඇළ ලෙසින් හදුන්වන ජල මාර්ගය ඔස්සේ මෙම නිශ්පාදන ඔරු පාරු මගින් ගෝකන්ණ වරායට රැගෙන ගොස් ලොව පුරා බෙදා හැරීම සිදු කිරීමට ඇත.
මහා පරාක්‍රමබාහු රජතුමාගේ සුවිශේෂී නිර්මාණයක් වන කාලිංග ඇළ විශේෂයෙන් සහල් අපනයනය කිරීම සදහා යොදාගත් ප්‍රවාහන මාර්ගයකි..මෙම ඇළ මාර්ගය ආසන්නයෙන් වැටී ඇති වර්තමානයේ කහඹිලියාව යන නමින් හදුන්වන ප්‍රදේශය එකල ඉතා දියුණු වෙළද භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කර ඇත..වර්තමාන කහඹිලියාව විහාරස්ථානයෙන් විවිද වර්ණයන්ගෙන් යුත් පබලු වර්ග,වීදුරු වළලු ,කාසි හා වෙනත් විවිද වර්ගයේ මැටි භාණ්ඩ රැසක් හමුවී ඇති අතර එම පුරාවස්තු පොලොන්නරුව කෞතුකාගාරයේ දැනට තැන්පත් කර තිබේ..මැදිරිගිරිය ප්‍රදේශය අතීතයේ ඉතා දියුණු වාණිජ්‍යය මධ්‍යස්ථානයක් ලෙස පැවති බවට මෙය ඉතා වටිනා සාධකයකි.
මීට අමතරව කහඹිලියාව විහාරස්ථානයේ දක්නට ඇති සුවිශේෂී ටැම් ලිපිය දැනට නිසි පරිදි සංරක්ෂණය නොකිරීම හේතුවෙන් විනාශයට පත් වෙමින් පවතී.
ඉපැරණි පුරාවස්තු රැසක් දක්නට ලැබෙන තලාකොළවැව පුරාන විහාරස්ථානය හා පල්ලියගොඩැල්ල ප්‍රදේශයද අතීතයේ ඉතා සරුසාර ප්‍රදේශයක් ලෙස පැවති බවට සාධක හමුවේ..
අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණු දන්ත ධාතූන් වහන්සේ සෝමාවතිය ප්‍රදේශයට ගෙන යාමට පෙර ටික කළක් තැන්පත් කර තැබූ බවට ජනවහරේ පැවත එන තළාකොලවැව විහාරස්ථානයේ ද පුරාවිද්‍යා ස්මාරක රැසක් දක්නට ලැබේ. වර්තමානයේ තළාකොලවැව විහාරස්ථානයේ පුරාවිද්‍යා ස්මාරකවල සංරක්ෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී මෙම ඉපැරණි විහාරස්ථානය පිළිබදව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇත.
මීට අමතරව තළාකොලවැව විහාරස්ථානයට ආසන්නයේ ඇති පල්ලිය ගොඩැල්ල ප්‍රදේශයේද ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක රැසක නටඹුන් දැකිය හැකිය.
එමෙන්ම කවුඩුලු වැවට අමතරව මැදිරිගිරිය ප්‍රදේශය පුරා අතීතයේ ඉතා කුඩා වැව් රැසක්ම පැවති බවට සාධක හමුව තිබේ..එම කුඩා වැව් එකිනෙකට සම්බන්ධව වැව් පද්ධතියක් ලෙස පැවති බවට හදුනා ගත හැකි අතර එවැනි වැව් පද්ධති ඇටඹඔය ප්‍රදේශයේ හා තළාකොලවැව ප්‍රදේශයේ විහිදී තිබූ ආකාරය දැනුදු පැහැදිලිව දැකගත හැකිය..එමගින් මැදිරිගිරිය ප්‍රදේශයේ ඉතා සශ්‍රීක ලෙස කෘෂිකාර්මික කටයුතු සිදුකර ඇති බවට හදුනා ගත හැකිය.
එවැනි බොහෝ වැව් ආසනනයේ දැනටත් ඉපැරණි ශිලා ලේඛන දැකිය හැකි අතර සංරක්ෂණය නොකිරීම හේතුවෙන් ඒවා විනාශ වෙමින් පවතී..ඇතැම් ශිලා ලේඛන නිදන් හොරුන් විසින් විනාශ කොට ඇති ආකාරය දැකගත හැකිය.
මේ ආකාරයට රාජධානි නිරිත දිගට සංක්‍රමණය වන තෙක්ම මැදිරිගිරිය ප්‍රදේශය වානිජ්‍යයමය හා කෘෂිකාර්මික අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් ලෙස පැවති බවට සිතිය හැකිය.
No comments:
Post a Comment