අතීත උරුමය සුරකිමු...

Tuesday, February 9, 2016

මැදිරිගිරිය වටදාගය - අතීත හෙළ උරුමය

මැදිරිගිරිය වටදාගය ...අපේ අතීත හෙළ තාක්ෂණයේ මහිමය විදහා පාන තවත් එක් නිර්මාණයක්..හබරණ පොලොන්නරුව  මාර්ගයේ මින්නේරිය දක්වා ගමන් කර...මින්නේරිය නගර මධ්‍යයේ දී වම්පසින් හමුවන මාර්ගයෙන් හැරී කිලෝමීටර් 04 ක පමණ දුරක් ගියවිට හිගුරක්ගොඩ නගරය හමුවේ.හිගුරක්ගොඩ නගරයේ ඇති ඔරලෝසු කණුව අසලින් වම් පසට හැරී කිලෝමීටර් 14 ක පමණ දුරක් ගිය විට මැදිරිගිරිය නගරය හමුවන අතර මැදිරිගිරිය නගරයේ සිට අඹගස්වැව දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 03 ක් පමණ ගියවිට මාර්ගය අසලම මැදිරිගිරිය පුරාවිද්‍යා ස්ථානයේ ප්‍රවේශ දොරටුව දැකිය හැකිය.
මැදිරිගිරිය පුරාවිද්‍යා ස්ථානය වඩාත් ප්‍රකට වන්නේ ඓතිහාසික මැදිරිගිරිය වටදාගය නිසාය..ඉතා දිගු ඉතිහාසයක් ඇති මැදිරිගිරිය පුරාවිද්‍යා ස්මාරක අතර කාගේත් සිත් ඇදගන්නා නිර්මාණයක් ලෙස මැදිරිගිරිය වටදාගය හැදින්විය හැක..මැදිරිගිරියේ ඓතිහාසික පසුබිම ඉතා දිගු ඉතිහාසයක් දක්වා දිවයයි..මැදිරිගිරිය නොහොත් මණ්ඩලගිරි විහාරයේ ඉතිහාසය පිළිබඳව මුලින්ම අපට තොරතුරු ලැබෙන්නේ මහා වංශයේ 36 වන පරිච්ඡේදයෙනි.ක්‍රි.ව 164 - 192 අතර රජකල කණිෂ්ඨ තිස්ස රජු භික්ෂූන් වහන්සේලා උදෙසා උපෝසථාගාරයක් ඉදිකළ බව එහි සදහන් වේ.එදවස මණ්ඩලගිරි විහාරය ඉතා සුප්‍රසිද්ධ ස්ථානයක්ව පැවති බවට මෙමගින් අපට සිතිය හැක.
මැදිරිගිරිය වටදාගය ක්‍රි.ව 667 - 683 අතර රජකල හතරවන අග්‍රබෝධි රජදවස මලය රාජ නම් ප්‍රාදේශීය රජකෙනෙකු විසින් ඉදිකළ බව ඉතිහාසයේ සදහන් වේ..මැදිරිගිරිය වටදාගය මධ්‍යයේ ඇති කුඩා ස්තූපය අසල කළ කැණීම් කටයුතු වලදී ඉපැරැණි බ්‍රාහ්මී අක්ෂර සහිත උළු කැට කීහිපයක් හමුවී ඇත.ක්‍රි.ව 853 - 887 අතර රජකල දෙවන සේන රජු මණ්ඩලගිරි විහාරයට ගම්වර ගණනාවක් සහ බොහෝ ධන සම්පත් පරිත්‍යාගය කළ බව ඉතිහාසයේ සදහන් වේ.ක්‍රි.ව 1055 - 1110 අතර රජකළ මහා විජයබාහු රජතුමා ද මෙම විහාරස්ථානයේ උන්නතිය උදෙසා කටයුතු කොට ඇත.නවවන හා දහවන සියවස් වල මණ්ඩලගිරි විහාරය ඉතා දියුණු මට්ටමක පැවතී ඇති අතර ආරෝග්‍ය ශාලාවක් පවා මෙම ස්ථානයේ පැවතී ඇත..
පොලොන්නරුව යුගයේදී ද මැදිරිගිරිය නොහොත් මණ්ඩලගිරි විහාරය ඉතා දියුණු මට්ටමක පැවති බවට ඉතිහාසයෙන් අපට සාක්ෂි හමුවේ.මහා පරාක්‍රමබාහු රජතුමාගේ රජ සමයට පෙර..මහා විජයබාහු රජතුමාගෙන් පසු අතර වූ කාල පරිච්ඡේදය   පොලොන්නරුව ඉතිහාසයේ රාජ්‍යත්වය උදෙසා බොහෝ කැලඹීම් ඇතිවූ කාල වකවානුවක් ලෙස හැදින්විය හැක...රුහුණේ බලය තහවුරු කරගත් මහා පරාක්‍රමබාහු රජුට මුලු දිවයිනේම පාලන බලය තමා සතු කරගැනීමට අවශ්‍ය විය..ඒ සදහා තම තම සොහොයුරෙකු වන දෙවන ගජබා (ක්‍රි.ව 1132 - 1153) රජු සමග සටන් වැදීමට ඔහුට සිදුවිය..ඉතා දරුණු සටන් මධ්‍යයේ පොලොන්නරුව අත්පත් කර ගැනීමේ ඉතා ආසන්න අවස්ථාවට පරාක්‍රමබාහු රජු පැමිණියද එම අවස්ථාවේ සිදුවන ජීවිත හා දේපල විනාශය දුටු මහා සංඝරත්නය ඊට මැදිහත් විය...රජුන් දෙදෙනා අතර සාකච්ඡා පවත්වා සමගිකොට දෙවන ගජබා රජුට හා මහා පරාක්‍රම බාහූ රජුට කොන්දේසි පැනවීය.එම කොන්දේසිය වූයේ මිය යන තුරුම දෙවන ගජබා රජුට පොලොන්නරු රාජධානියේ රජකම ලබාදිය යුතු බවත්..ඔහුගෙන් පසු අනිවාර්යයෙන්ම මහා පරාක්‍රමබාහු කුමරුට පොලොන්නරු රාජධානියේ රජකම ලබා දීමට ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතු බව‍ත් ය...මේ සම්බන්ධයෙන් තමාගෙන් පසු මහා පරාක්‍රමබාහු රජුට සිහසුන හිමිවන පරිදි දෙවන ගජබා රජු විසින් මණ්ඩලගිරි විහාරයේ ගල් සන්නසක් කළ බවට වංශකතා වල සදහන් වේ..නමුත් තවමත් එම ගල් සන්නස මැදිරිගිරිය පුරාවිද්‍යා කැණීම් තුළින් සොයා ගැනීමට හැකිවී නොමැති අතර එම සන්නසේ පිටපතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සංගමුව රජමහා විහාරයේ තිබී සොයාගෙන ඇත.
එසේම ශිලා ලේඛන ඉදි කරවීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධම රජු වන නිශ්ශංක මල්ල රජුගේ ශිලා ලේඛන වලද මණ්ඩලගිරි විහාරය පිළිබඳව සදහන් වේ.එමෙන්ම දහතුන් වන සියවසේදී රචනා කරන ලද පූජාවලියේද මණ්ඩලගිරි විහාරය සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කළ අති පූජනීය ස්ථානයක් ලෙස දක්වා ඇත.



3 comments:

තවමත් සොයා ගැනීමට නොහැකි වූ දෙවන ගජබා රජුගේ මණ්ඩලගිරි ගල් සන්නස

පොලොන්නරු රාජධානි සමයේ මහා පරාක්‍රමබාහු රජු හා දෙවන ගජබා රජතුමා අතර මැදිරිගිරියේ දී ඇති වූ ගිවිසුමක් පිළිබදව වංශ කතාවල සදහන් වේ..නමුත් එම ග...